Dehan Vithana (+94714470384)
dehan.vithana@yahoo.com
වෙලාවක් කලාවක් වයසක් නැතිව ඕනෑම කෙනෙකුට හිතුමනාපයට යන්නට පුලුවන් ඉස්කෝල වර්ගයක් තිබේ. ඒ පොළොවේ ඉදි කල ගොඩනැගිලිවල නොව සයිබර් අවකාශයේ හෙවත් අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි තුළය. මේ අලුත් පන්නයේ පාසල්වලින් ඉගෙන ගැනීමට ඉංග්‍රීසියෙන් කියන්නේ E-Learning කියා ය. E-Learning ක්‍රමයෙන් සයිබර් පන්තියක [Cyber Class]ඉගෙන ගන්නා සිසුවාට ඉංග්‍රීසියෙන් කියන්නේ E-Student කියා ය.
අධ්‍යාපනයට තාක්ෂණයෙන් ලැබෙන පිටිවහල කවරේදැයි නිතර සමීක්ෂණ කරන ඇමරිකාවේ The Peak Group සමාගම කියන්නේ දැනට ලෝකය පුරා මෙවැනි E-Students ලා දශ ලක්ෂයකට වැඩි පිරිසක් සිටින බව ය. ඔවුහූ අන්තර්ජාලය හරහා උසස් පාසල් ඩිප්ලෝමාවන් මෙන්ම උපාධි පාඨමාලා ද හදාරති.
ලෝකයේ කීර්තිමත් අධ්‍යාපන ආයතන මෙන්ම විශ්ව විද්‍යාල බොහොමයක්ම සිය සයිබර් විශ්ව විද්‍යාල අන්තර්ජාලය තුල ස්ථාපිත කොට ඇත. මේ ගැන සංඛ්‍යාලේඛන පෙන්වන Eduventures නම් ඇමරිකානු සමීක්ෂණ ආයතනය කියන්නේ පසුගිය වසරක් තුළ ලොවපුරා E-Education ප්‍රවණතාව 38% කින් වර්ධනය වී ඇති බවයි. එහි තේරුම කුමක් ද? එහි තේරුම ගැන කතා කරමින් ඇමරිකාවේ මිනසෝටා විශ්ව විද්‍යාලයේ[University of Minnesota] කුලපතිනිය වන බිලී වෝල්ස්ට්‍රෝම් [Billie Wahlstrom] කියන්නේ තුන්වන ලෝකයේ රටවල්වලට E-Education බෙහෙවින් උචිත බවයි.
 |
| Billie Wahlstrom |
දැනට ඇමරිකාවේදී E-Education ක්‍රමයෙන් අධ්‍යාපනය ලබන්නට අධ්‍යාපන ආයතන විසින් ලබා දී තිබෙන පහසුකම්වල තරම ගැන අදහසක් ඇමරිකානු දුරස්ථ අධ්‍යයන සංගමයේ [US Distance Learning Association] සංඛ්‍යාලේඛනවලින් ලබා ගත හැක. එහි අධ්‍යක්ෂක ජෝන් ජි. ෆ්ලෝර්ස් කියන්නේ[John G. Florce] ඇමරිකාවේ පෞද්ගලික පාසල්වලින් හරි අඩකටත්, රජයේ පාසල්වලින් 90% කට දැනටමත් E-Education ක්‍රමයේ පාඨමාලා ලබා දෙන බව ය.
සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට අමතර වශයෙන් අන්තර්ජාලය ආශ්‍රයෙන් ඉගෙන ගන්නට සිසුන් යොමු කිරීම මේ පාසල්වල කරන්නේය. ඒ පාසල්වලට හා විශ්ව විද්‍යාලවලට අදාළ වෙබ් අඩවි වෙත පිවිසෙන සිසුන්ට තමාට අදාළ ගෙදර වැඩ [Home Work] අන්තර්ජාලය තුලින් කරන්නට පුලුවන. පුස්තකාල පරිහරණය කරන්නට පුලුවන. කෙටියෙන් කියනවා නම් දේශනාගාරවලින් පිටත දී ඕනෑම වේලාවක මේ වැඩවල යෙදෙන්නට ඉඩ ලැබේ.
අන්තර්ජාලය හරහා සම්පූර්ණයෙන්ම සිය පාඨමාලා පවත්වා ගෙන යමින් උපාධි ප්‍රදානය කරන්නට දැන් ලෝකයේ කීර්තිමත් විශ්ව විද්‍යාල බොහොමයක් වැඩ සටහන් [Online Degree Programme] සාදා තිබෙන්නේය. මේ අයුරින්ම සිය පාඨමාලාවලින් වැඩි හරියක්ම අන්තර්ජාලය තුළින් ඉදිරිපත් කරන පාසල් ද ඇත. එවැනි පාසලක් වන ඇමරිකාවේ Florida Virtual School හී ප්‍රධානියා වන ජූලී යන්ග් [Julie Young] පවසන්නේ එම පාසලේ ළමුන්ගෙන් 97% පමණ සතියකට පන්තියට එන්නේ දවස් දෙකක් පමණක් බවයි. අනෙක් වේලාවට ඒ සිසුන් විෂය නිර්දේශය සම්පූර්ණ කර ගන්නේ තම නිවසේ සිට වීම වෙබ් අඩවිය ඔස්සේ ය.
 |
Julie Young
|
අධ්‍යාපනය ලබා දීම මෙන්ම විභාග පැවැත්වීම ද අන්තර්ජාලය හරහා සිදු වේ. විභාග ශාලාව යනු එකිනෙකින් වෙන් කළ කුටීර තුළ පරිගණක රදවා තබන තැනකි. කඩදාසි,පෑන්,පැන්සල් නැතිව මෙතනට එන විභාග අපේක්ෂකයා පරිගණකයක් ඉදිරියේ වාඩි වේ. හරියට ඊ-මේල් ගිණුමක් [E-mail Account] විවෘත කරන්නාක් මෙන් විභාග අපේක්ෂකයා තමාගේ විභාග ගොනුව අදාළ වෙබ් අඩවියට පිවිස සොයා ගනී. දැන් රහස් වචනය[Password] ඇතුලු කල යුතුය. එවිට ප්‍රශ්න පත්‍රය දිග හැරේ.
දැන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ටයිප් කරන්නට පුලුවන. ටයිප් කළ පිළිතුරු නැවත කියවා බලා සෑහීමකට පත්වීමෙන් පසුව ඒවා ඉදිරිපත්[Submit] කළ යුතුය. ඉන්පසුව ටික වේලාවක් රැදී සිටීමෙන් පසු විභාග ප්‍රතිඵල ලබා ගත හැක. මේ අයුරින් සයිබර් පාසලකින් හෝ සයිබර් විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගැනීමෙන් හරි හමන් අධ්‍යාපනයක් ලැබේ ද යන්න සැක සංකා මතු කරන්නෝ සිටිති. ඔවුන් කියන්නේ E-Education මගින් අධ්‍යාපනයේ හරය විනාශ වන බවය.
මේ මතය ගැන කතා කරමින් ඇමරිකාවේ ෆීනික්ස් විශ්ව විද්‍යාලයේ ප්‍රධානියා[University of Phoenix] වන ලෝරා පාමර් නූන් [Laura Palmer Noone] පවසන්නේ මේ අලුත් ක්‍රමය මගින් සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය වෙනස් වූ බවයි. වත්මන් ලෝකයට ගැලපෙන මෙම ක්‍රමය නිසි අයුරින් උසස් අධ්‍යාපනය හරි හැටි ලබා දෙන්න ඕනෑ කරන වැඩසටහන් හා ප්‍රතිපත්ති සකස් කිරීමේ වගකීම අධ්‍යාපනඥයින්ට ඇති බව ඈ තව දුරටත් ප්‍රකාශ කරයි.
 |
| Laura Palmer Noone |